electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Sunday, February 13, 2022

රූපවාහිනි තාක්ෂණය -3

 විදුලි සංඥාව නැවත ඡායා රූපය බවට පත් කිරීම convert  electrical signals to  picture


ඡායා රූපයකට අදාල  විදුලි සංඥාව නිර්මාණය වී ඇත්තේ එහි එක් එක් Pixel වලට අදාල වෙනස් වූ වෝල්ටීයතාවයන්ගෙ එකතුවෙන් වේ.ඒ අනුව මෙම විදුලි සංඥාව නැවත ඡායා රූපය බවට පත් කිරීම සදහා,එක් එක්  Pixel වලට අදාල වෝල්ටීයතා මට්ටම් නැවත ආලෝක ඩොට් බවට පත් කිරීම සිදුකල යුතුය.ඒ අනුව අදවන විට මේ සදහා තාක්ෂණික වශයෙන් විවිධ ක්‍රම ගණනාවක් යොදාගනු ලබයි.එහෙත් මේ සෑම ක්‍රමයකම මූලධර්මය එකම වේ.

එනම් මේ සදහා යොදාගනු ලබන්නේ ඇසේ ඇති resolution නම් ගති ලක්ෂණය වේ. එය මෙසේ පැහැදිලි කර ගනිමු , සුදු කොලයක් ගෙන ඒ මත කුඩා ඩොට් දෙකක් තබන්න.ඉන් අනතුරුව කොලය ක්‍රමයෙන් ඇසෙන් ඉවතට ගෙන යන්න.එවිට යම් දුරකදී  ඩොට් දෙක එකක් ලෙස පෙනෙනු ඇත. Resolution ලෙස හදුන්වනු ලබන්නේ මෙම ගති ලක්ෂනය වේ.

මේ ආකාරයට ඡායා රූපයේ Pixel ඩොට් තිරය මතට ඉතා ලගින් එල්ල කරනු ලැබු විට ඇසේ ඇති resolution ගති ලක්ෂණය නිසා අපගේ මොලය විසින් එම ඩොට් සියල්ල එක්කාසු කර ගැනීම මගින් ඡායා රූපය නිර්මාණය කරගනු ලබයි.

එසේම ඡායා රූපයක් නිර්මාණය වී ඇත්තේ වර්ණ දහස් ගණනක එකතුවකින් වේ.මෙම ඡායා රූපය කුඩා Pixel වලට බෙදූ විට, එම එක් එක් Pixel එකට අදාලව වර්ණයක් ලැබේ.අනෙක් අතට එක් එක් Pixel වල වර්ණයන්ගේ එකතුවෙන් ඡායා රූපය නිර්මාණය කරගනු ලබයි.පහත රූපය දෙස බලන්න එහි ඇසෙහි විශාල කල කොටස මගින් එහි කුඩා කොටුවකට(ඇත්තෙන්ම මෙම කොටුව ඉදිකටු තුඩක් වැනි කුඩා කොටුවකි) වර්ණයක් ලැබී ඇති බව නිරීක්ෂනය කල හැක.

 

 

 එහෙත් මෙම එක් එක් Pixel එකට අදාලව වර්ණ යොදාගැනීමට සිදුවුවහොත් ඡායා රූපයක් නිර්මාණය සදහා වර්ණ දහස් ගණනක් අවශ්‍ය වේ.නමුත් අපගේ ඇසේ හි ඇති දෘශ්ටි මායාවම උපයොගී කරගෙන එලෙස වර්ණ දහස් ගණනක් නොමැතිව ඡායා රූපය නිර්මාණය කරගත හැක.ප්‍රථමයෙන් කලු/සුදු ඡායා රූපයක් නිර්මාණය කරනු ලබන ආකාරය මගින් මෙය පැහැදිලි කරගනිමු.

කලු/සුදු ඡායා රූපයක් ගත්කල එය නිර්මාණය වී ඇත්තේ කලු හා සුදු වර්ණ දෙක අතර ඇති වර්ණයන්ගේ එකතුවෙන් වේ.මෙම වර්ණ දෙක අතර වර්ණ පරාසය grayscale ලෙස හදුන්වනු ලබයි.චිත්‍ර ශිල්පය පිළිබදව යම් හෝ අවබෝදයක් තිබෙනවා නම් ඔබ දන්නවා මෙම වර්ණ දෙක අතර වර්ණ නිර්මාණය කරගනු ලබන්නේ එම වර්ණ දෙක එකට එක්කාසු කිරීමෙන් බව.එහෙත් ඉලෙක්ට්‍රොණික තාක්ෂණය මගින් මෙම වර්ණයන් නිර්මාණය කර ගන්නේ කෙලෙසද?මේ සදහාද යොදාගනු ලබන්නේ ද ඇසේ ඇති Resolution නම් ගති ලක්ෂණය වේ.

ඉහත සදහන් කල ආකාරයට සුදු කඩදාසියක් මත  ඩොට් දෙකක් තියා එය ඇසෙන් ඉවතට ගෙන යන විට එම ඩොට් දෙකම එකක් ලෙස දිස්වනු ඇත.මේ ආකාරයටම, කඩදාසියක් ගෙන ඩොට් අතර පරතරය සමාන වන ලෙස ඩොට් ප්‍රමාණයක් ඉතා ලගින් තබන්න.එවිට ඔබට මෙම ඩොට් සියල්ලම එක්කාසු වී යම් වර්ණයක්(අලු පැහැයට සමාන) දිස්වනු ඇත.ඉන් අනතුරුව ඩොට් අතර පරතරය නොවෙනස්ව තබා ගනිමින් ඩොට් එකේ ප්‍රමාණය පමණක් වෙනස් කරමින් එහි පැහැය නිරීක්ෂණය කරන්න.එවිට ඩොට් එකේ ප්‍රමාණය වැඩිවන විට කලු පැහැය දිස්වන අතර ඩොට් එකේ ප්‍රමාණය අඩුවන විට අලු පැහැයෙන් දිස් වේ.මේ අනුව පැහැදිලි වන්නේ ඩොට් එකේ ප්‍රමාණය පමණක් වෙනස් කර ගනිමින් සුදු සහ කලු අතර වර්ණයන් සියල්ල නිර්මාණය කරගත හැකි බවයි.

අප දන්නවා ඡායා රූපයක් නිර්මාණය වී ඇත්තේ Pixel වලින් බව.  Pixel එකක් යනු ඉදිකටු තුඩක් වැනි ඉතාම කුඩා කොටුවක් වේ.ඒ අනුව මෙම Pixel එකට අදාල වර්ණය සකස් කරගනු ලබන්නේ Pixel කොටුව තුලට එල්ල කරන ඩොට් එකේ ප්‍රමාණය වෙනස් කිරීම මගින් වේ.මෙම ඩොට් එකේ ප්‍රමාණය තිරණය කරනු ලබන්නේ Pixel එකට අදාල වෝල්ටීයතාවයෙන් වේ.වෝල්ටීයතාවය වැඩිවන විට ඩොට් එකේ ප්‍රමාණය වැඩිවන අතර වෝල්ටීයතාවය අඩුවන විට ඩොට් එකේ ප්‍රමාණය අඩු වේ.

 මෙහිදී පැහැදිලි වන අනෙක් කරුන වන්නේ ඒකකයක් තුල ඇතුලත් වන ඩොට් ප්‍රමාණය(හෙවත් Pixel ප්‍රමාණය) වැඩිවන්නට වැඩිවන්නට පැහැදිලි දසුනක් ලබා ගැනීමට ඇසෙන් දුරස් විය යුතු තුර අඩුවන බවයි.ඒ අනුව ඒකකයක ඇතුලත්වන Pixel ප්‍රමාණය වැඩිවන විට Resolution එකද වැඩි වේ.

 මේ ආකාරයටම වර්ණ ඡායා රූපයක් ද නිර්මාණය කරගත හැක. වර්ණ ඡායා රූපයක් ගෙන එය Pixel වලට වෙන්කර ගත් විට එම එක් එක් Pixel යට වෙනම වර්ණයක් ලැබේ.ඒ අනුව ඡායා රූපයේ ඇති Pixel ප්‍රමාණය අනුව ජායා රූපය නිර්මාණය සදහා යොදාගනු ලබන වර්ණ ප්‍රමාණයද වෙනස් වේ.දැන් පැන නගින ප්‍රශ්ණය වන්නේ  මෙම එක් එක් Pixel එකට අදාල වර්ණ නිර්මාණය කර ගන්නේ කෙලෙසද යන්නයි.

මෙලෙස වර්ණ දහස් ගණනක් පැවතුන ද රතු, කොළ, නිල් (RGB) යන මූලික වර්ණ තුන යොදාගෙන ඕනෑම වර්ණයක් නිර්මාණය කරගත හැක.මේ සදහා ද යොදාගනු ලබන්නේ ඇසේ අති Resolution ගති ලක්ෂණය වේ.මෙය වටහා ගැනීම සදහා ද ඉහත සිදු කල ක්‍රියාකාරකම මෙසේ සිදුකර බලන්න. සුදු කඩදාසියක් ගෙන ඒ මත රතු, කොළ, නිල් ඩොට් තබා එහි පැහැය වෙනස්වන ආකාරය නිරීක්ෂණය කරන්න.මේ ආකාරයට ඩොට් වල ප්‍රමාණය වෙනස් කරමින් මෙම ක්‍රියා කාරකම නැවත නැවත කරන්න.එවිට එහි පැහැය වෙනස්වන ආකාරය ඹබට දැකගත හැකි වේ.වර්ණ ඡායා රූපයක් නිර්මාණය කිරීම සදහා යොදාගනු ලබන්නේ මෙම මූලධර්මයම වේ.  

එනම්  වර්ණ ඡායා රූපයක, Pixel වල වර්ණ නිර්මාණය කර ගැනීම සදහා  අවශ්‍ය වන්නේ මෙම RGB යන මූලික වර්ණ තුන පමණි.ඒ අනුව මෙම  වර්ණ තුන ඉතා ලගින් පිහිටවා Pixel එකක් නිර්මාණය කරගනු ලබයි.ඒ අනුව කලු සුදු ජායා රූප වලදී මෙන් මෙහිදී ද  එල්ල කරන වර්ණ වල ප්‍රමාණය වෙනස් කිරීම මගින් එම Pixel එකට අදාල වර්ණය සකස් කරගනු ලබයි. 

 

වර්ණ ජායා රූපයක විදුලි සංඥාව නිර්මාණය කරගැනීම

කලු සුදු ජායා රූප වලදී ජායා රූපය නිර්මාණය කර ගැනීම සදහා අවශ්‍ය වුයේ එක් විදුලි සංඥාවක් පමණි.එහෙත් වර්ණ ජායා රූප නිර්මාණය සදහා වර්ණ තුනක් යොදාගනු ලබන නිසා එම වර්ණ තුන සදහා වෙන වෙනම විදුලි සංඥා තුනක් අවශ්‍ය වේ.කලු සුදු ජායා රූප ස්කෑන් කිරීමේ ක්‍රියාවලියේදී සිදුකරනු ලැබුවේ පරාවර්තනය වී පැමිණෙන  සුදු ආලෝකය විද්යුත් ආලෝක අනාවරක මගින් ග්‍රහණය කරගැනීම මගින් ඒ අනුව විදුලි සංඥාව නිර්මාණය කරගැනීම වේ.වර්ණ ජායා රූපවල සංඥාව නිර්මාණය කරගැනීම සදහා යොදාගනු ලබන්නේද  මෙම ක්‍රමයම වැඩිදියුනු කරගැනීම මගින් වේ.

අප දන්නවා සුදු ආලෝකය තුල රතු වර්ණයේ සිට දම් වර්ණය දක්වා මිලියන ගණනක වර්ණ අන්තර්ගත බව.ඒ අනුව සුදු ආලෝකය එක් එක් වර්ණ වලට අදාල පෙරන තුලින් යවා එම වර්ණය ලබා ගත හැක.එනම් නිල් පෙරනයක් තුලින් යවා නිල් වර්ණයද රතු පෙරනයක් තුලින් යවා රතු වර්ණයද ලබාගත හැක.  

ඒ අනුව වර්ණ ඡායා රූප ස්කෑන් කිරීමේ ක්‍රියාවලියේදී සිදුකරනු ලබන්නේ එක් එක් Pixel වලින් පරාවර්තනය වී පැමිණෙන  සුදු ආලෝකය රතු,නිල්,කොළ පෙරන තුලින් යවා එම Pixel එකේ ඇති මූලික වර්ණ තුන ලබාගනු ලබයි.ඉන් අනතුරුව මෙම වර්ණ තුන වෙන වෙනම විද්යුත් ආලෝක අනාවරක තුලින් යවා එම වර්ණයට අදාල විදුලි සංඥා නිර්මාණය කරගනු ලබයි.

 

චලන රූප නිර්මාණය කිරීම

චලන රූප නිර්මාණය කිරීම සදහාද යොදාගනු ලබන්නේ ඇසේ තිබෙන එක්තරා ගති ලක්ෂණයකි.මෙම ගති ලක්ෂණය eye persistence ලෙස හැදින්වේ.එය මෙසේ පැහැදිලි කර ගනිමු.පෙරහැර වලදී ගිණි බෝල කරකවන දර්ශන ඔබ දැක ඇත.එහිදී ගිණි බෝලය කරකවන විට අපට දිස්වන්නේ ගිණි වළල්ලක් ලෙස වේ.මීට හේතු වන්නේ, ඇසේ දෘෂ්ටි විතානය මත යම් රූපයක් නාබි ගතකල පසු එය තත්පර 1/25 ක කාලයක් පවතී.මේ නිසා ගිණි බෝලයේ යම් ස්ථානයක් නාබි ගත කල පසු එය තත්පර 1/25 කාලයක් දෘෂ්ටි විතානය මත නාබි ගත වී පවතී.ගිණි බෝලය කැරකෙන නිසා දැන් ඊලග ස්ථානයේ ගිණි බෝලයේ නාබි ගත කිරීම සිදුකරනු ලබයි.මේ ආකාරයට අඛංඩව රූප නාබිගත කිරීම සිදුකරන විට අපගේ මොළය විසින් අඛංඩ රූපයක් ලෙස වටහා ගණි.මේ නිසා කැරකෙන ගිණි බෝලය  ගිණි වළල්ලක් ලෙස දර්ශණය වීම සිදු වේ. Eye persistence ලෙස හදුන්වනු ලබන්නේ මෙලෙස අඛංඩව රූප දෘෂ්ටි විතානය මත නාබි ගත කිරීම නිසා ඇතිවන දෘෂ්ටි මායාව වේ. ඇත්තටම මෙය ඇසේ දොෂයක් වේ.එහෙත්  විඩියෝ තාක්ෂණය සදහා උපකාරී වන්නේ මෙම දෝෂයම වේ.

 මෙම Eye persistence  ගති ලක්ෂණය නිසා එකිනෙකට සම්බන්ද ඡායා රූප පෙලක් (ආසන්න වශයෙන් ඡායා රූප 10ක් පමණ) තත්පරයක කාලයක් තුල එක දිකට පෙනීමට සැලැස්සුවහොත් එය චලනය වන රූපයක් ලෙස ඇස හදුනාගනු ලැබේ.

 


 

ඉහත දැක්වෙන්නේ චීටාවෙක් දුවන එකිනෙකට සමාන ඡායාරූප පෙළක් වේ. තත්පරයක් තුල මෙම ඡායා රූප සියල්ල පෙනිමට සැලැස්සුව හොත් චීටා දුවන දර්ශනයක් දැක ගැනීමට හැකි වේ.මේ ආකාරයට තත්පරයක් තුල පෙන්වන ඡායාරූප ප්‍රමාණය වැඩිකල විට චලන රූපයේ ස්වභාවික ගතිය හෙවත් කොලිටිය වැඩිවේ.

විඩියෝ තාක්ෂණයේදී මෙම එක් ඡායා රූපයක් frame එකක් ලෙස හදුන්වනු ලබයි.එසේම තත්පරයක් තුල පෙන්වනු ලබන frame ප්‍රමාණය frame rate එක ලෙස හදුන්වනු ලබයි. Frame rate එක වැඩිවන විට විඩියෝ එකේ කොලිටිය වැඩිවේ.එහෙත් මෙය අදික ලෙස වැඩිවුනා කියා විඩියෝ කොලිටිය වැඩිවීමක් සිදු නොවේ.එම නිසා හොද කෙලිටියක් ඇති විඩියෝ එකක් ලබා ගැනීමට ඇති Frame rate එක ලෙස තත්පරයකට Frame 25 ත් 30 ත් අතර ප්‍රමාණය යොදාගනු ලබයි.මේ අනුව ඹබ සිතා බලන්න පැය බාගයක විඩියෝ දර්ශණයක් සදහා කොපමණ Frame ප්‍රමාණයක් අවශ්‍යද කියන වග.

ඒ අනුව අදවන විට කොතරම් කැමරා වර්ග නිර්මාණය කරනු ලැබුවද මේ සෑම එකක්ම ක්‍රියාත්මක වන්නේ මෙම මූලික මූලධර්මය මත පදනම්ව වේ.එසේම මෙහිදී තවත් වැදගත් කරුනක් කිව යුතුය.එනම් මෙම සෑම කැමරාවකින්ම විඩියෝ දර්ශණයට අදාල සංඥා නිර්මාණය කරනු ලබන්නේ නැවත මෙම විඩියෝ දර්ශණ ලබා ගන්න තිරය අනුව වේ.

(අද වන විට යොදාගනු ලබන ඩිඡිටල් තාක්ෂනය මගින් නිර්මාණය කර ඇති ඩිඡිටල් කැමරාවල   නම් සෑම විඩියෝ එකක්ම තැන්පත් කිරීම සිදුකරනු ලබන්නේ ඩිඡිටල් ආකාරයෙන් වේ.මෙම විඩියෝ දර්ශණ නැවත තිරයකට ගැනීමේදී, මෙම ඩිඡිටල් දතත් ගෙන ඒවා එම එක් එක් තිරයට ගැලපෙන ආකාරයට පරිවර්ථනය කර සංඥාව නිර්මාණය කරගනු ලබයි.)

දැන් නැවතත් රූපවාහිනි තාක්ෂණය වෙත යොමු වෙමු.අප දන්නවානේ රූපවාහිනි තාක්ෂණයේදී ද යොදාගනු ලබන්නේ  විඩියෝ දර්ශන  බව.එබැවින්  මේ සදහා ද අවශ්‍ය වන විඩියෝ දර්ශන ලබා ගැනීම සදහා ද කැමරාවක් අවශ්‍ය වේ.ඒ අනුව මෙහිදී යොදාගනු ලබන කැමරා රූපවාහිනි තාක්ෂණය සදහාම වෙන් වූ කැමරා වේ. ඒ අනුව මෙම කැමරාව මගින් වීඩියෝ සංඥා නිර්මාණය කරනු ලබන්නේ  නැවත අප දර්ශණ ලබා ගන්නා තිරය හෙවත් අප නිවෙස් වල භාවිතා කරන රූපවාහිනී යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය සහ සම්ප්‍රේෂනය කරනු ලබන ආකාරය අනුව වේ.

එසේම මෙම විඩියෝ සංඥා, අනෙකුත් විඩියෝ සංඥා වලට වඩා සංකීර්ණ ස්වභාවයක් ගනු ලබයි.ඉහත පැහැදිලි කිරීම අනුව අප දන්නවානේ විඩියෝ සංඥාවක් කොහොමත් සංකීර්ණ ස්වභාවයක් ගන්නා බව.ඊටත් වඩා රූපවාහිනි තාක්ෂණයෙදී යොදාගනු ලබන විඩියෝ සංඥා සංකීර්ණ ස්භාවයක් ගනු ලබන්නේ  මෙම විඩියෝ සංඥා සම්ප්‍රේශණයේදී සංඥා විකෘති වීම් අවම කර ගැනීම සදහා  ක්‍රම  උපායන් ද මෙම සංඥාව තුලට එක්කරන නිසා වේ.ඒ අනුව රූපවාහිනි සංඥා නිර්මාණය කරනු ලබන්නේ මෙම ක්‍රම  උපායන් ඇතුලත් වන යම් සම්මතයකට අනුව වේ.